Followers

අරුම පුදුම වැඩ කරන ඔහු | It's About an Amaizing Person (වීඩියෝව සහිතයි)

මනසින් උසස්ම වූ සත්ත්වයා මිනිසාය. එය විටෙක එහි අර්ථයට පමණක් සීමා වන්නකි. කෙසේ වුවද මිනිස් සමාජය එනම් මිනිසුන් සියල්ල පොදුවේ ගත්කල එකිනෙකාට ආවේණික වූ විවිධ චරිත ලක්ෂණ/ හැකියාවන් ඇත. ජන්මයෙන්ම උරුම කරගෙන ඒවා මෙන්ම තවකෙකුට එය හැකියා හඳුනාගෙන ප්‍රගුණ කිරීමෙන් තමාගේම කරගත හැක. මා දෙවනුව කී කාරණයෙන් යමෙක් යම් හැකියාවක් සත්‍ය වෂයෙන්ම ප්‍රගුණ කරන්නේ නම් නැතහොත් ප්‍රගුණ කර ඇත්නම් අනිවාර්යයෙන්ම ඔහුට ඇගයිය යුතු නිපුණතාවයක් ඇත. නමුත් එය ඇගයීමටනම් තවකෙකුට හැඟවිය යුතුය.
එනම් සන්නිවේදන මාධ්‍යයක් භාවිතා කොට එය එකිනෙකා අතරට ගෙන යා යුතුය. එය විධිමත් ලෙස නිවැරදි ලෙස අවසානය දක්වාම කිරීම අදාල පුද්ගලයන් සතු වේ. ඒ ඇගයිය යුතු දෙයක් නිස්කාරණයේ වටිනාකමකින් තොර පොදු යමක් වීමට නොදීමට වග බල ගැනීමය.

හැකියාවන්ගෙන් පිරිපුන් පුද්ගලයන් ගැන කුඩා විස්තරයකට මුලින්ම එළඹුණේ ධනා දැන් කියන්න යන අත්දැකීමත් පොඩ්ඩක් ඒවගේ නිසා. හැකියාවක් කිව්වට ඒක මහ අමුතුම හැකියාවක්. කෙනෙක්ව මවිත් කරවන්න ඒකියන්නෙ වෙනස්ම විදියකට කෙනෙක්ව මවිත කරවන්න පුළුවන්නම් ඒක නියමම , දුර්ලභ හැකියාවක්. ඒ හැකියාවෙන් කෙනෙක්ව හරි විදිහට පිනවනවනම් ඒ හැකියාව තියෙන කෙනාගෙ තවත් හැකියාවක් ඒක. ඒ විදිහෙ පුද්ගලයෙක් ඒ විදිහෙ වැඩක් ගැන තමයි මම මේ මේ කියන්න හදන්නෙ. ධනාට පුරුදු ලියන බස පාවිච්චි නොකර ලියන එකනම් පොඩ්ඩක් අමාරු වැඩක්. ජම්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවනෙ. 

දවස වෙලාව ගැනනම් අහන්නෙපා කියල ඉස්සෙල්ලම කියන්න ඕනි. මොකද ඒ අත්දැකීම එහෙම විදගන්න පිළුවන් වෙයි කියලවත් මේ විදිහට බ්ලොග් එකකට ලියන්න හිතෙයි කියල ඒකාලෙ ධනාගෙ තුන් හිතකවත් තිබුනෙ නෑනෙ. මම හිතන්නෙ එතකොට ධනා ඉස්කෝලෙ හය හෝ හත වසරෙ. පුරුදු විදිහටම මේ කියන්න හදන්නෙ මගේ පාසල මට දුන්න තවත් අත්දැකීමක්. වර්ශය කිව්වොත් 2007/2008 වගේ විතර. බඩ ලඟට නිල් පාට කොට කලිසම ඇඳල කළු මේස්,සපත්තු දාල සුදු කමිසෙ ඇඳල අපිටවත් දරාගන්න බැරි පොත් ගොඩක් පුරවපු ලොකු ස්කූල් බෑග් එකක් පිටේ එල්ලගෙන ගිය ඒ කාලෙ සෙඛ්‍ය ආරක්ෂිත් පාසල් බෑග් තිබුණෙ නෑ. කොටස් වලට කඩල පොඩි කරල හදපු අච්චු පොත් තිබුණෙත් නෑ. ඒ පැත්තෙන් හොඳ කට්ටක් කෑව. ඒත් ඒ මතකනම් ඉඳිකටු මිටියෙන් පපුවෙ කෙටුව වගේ හැමදාමත් තියෙනව. 

කතාව වෙන පැත්තකට හැරුණද, නැත්නම් වටේ තැළුවද කියල හරියටම තේරෙන්නෙ නෑ. ධනාගෙ ඉස්කෝලෙ හැම අඟහරුවාදකම ප්‍රධාන රැස්වීමක් තියෙනව. ඒ කියන්නෙ එතනට ඉස්කෝලෙ අතුගාන අය නැතුව හැම කෙනාම එනව. ශිෂ්‍යයො හැටියට අපිත් යනව. ඉස්කෝලෙ වුණ, වෙන්න තියෙන හැමදෙයයක්ම එතනදි අපිට කියනව. අයියලා අක්කලා, නංගිලා මල්ලිලා ගත්ත පොඩි ලොකු ජයග්‍රහන වලට හෙමත් එතනදි අරව මේව දෙනව. අපිත් ඉතිං බලාගෙන ඉන්නව. එක දවසක් පොඩ්ඩක් උස, කොන්ඩෙ කර්ල්, සුදු , හොඳට ඇඳ පැළඳගෙන අයිය කෙනෙක් ඇවිත් හිටිය. සභාවෙ ඔක්කොම වැඩ ඉවරවුනාට පස්සෙ එයාට අවථාව ලැබුණ. ඔක්කොමලටම හරිම පුදුමයක් මොකක්ද මේ වෙන්න යන්නෙ කියන එක. කොහොම වුනත් හුඟක් සංවර පුද්ගලයෙක්. ආ තවත් දෙයක් කියන්න ඕනි මම ඒ පුද්ගලයගෙ නමක් ගමක් මොනවත්ම දන්නෙ නෑ. දන්න මතක ටික තමයි ඉස්සෙල්ල කිව්වෙ. මම එයාව අයිය කියල හඳුන්වන්නම්කො. 

මුලින්ම ඒ අයිය එයාගෙ පුද්ගලික තොරතුරු ටිකක් අපිට කියල මාතෘකාවට බැස්ස. මට මතක විදිහට ඔයාලටත් කියන්නම්. උසස් පෙළට වෙනකං අධ්‍යාපනයක් ලැබුවෙ නැල්ලු. ඒ මූල්‍යමය අපහසුතා හින්ද ලු. පස්සෙ ටික කාලයක් නුවර හොටෙල් එකක වැඩ කලා ලු. ඒ වගේ අඩු මට්ටමේ කට්ට කාල කරන රැකියා ගොඩක් එයා කලා ලු. ඒවගෙන් හොඳට ජීවිතේ ගැනත් ඉගෙනගත්ත ලු. ඊට පස්සෙ තමයි කිව්වෙ කරන්න යන වැඩේ. එදා උදේ තමයි ඒ අයිය ඉස්කෝලෙට ඇවිත් විදුහල්පති මුණ ගැහිල තියෙන්නෙ. අපිටනම් කිව්වෙ ලංකාවෙ කාටවත් කරන්න බැරි දේවල් ටිකක් කරල පෙන්නනව කියල. හැබැයි ඒක කරන්නෙ හෙට, ඒ කියන්නෙ ඊලඟ දවසෙ කියලත් කිව්ව.

පස්සෙ ඉතිං හෙන පංපෝරියකට තිත තියල වැඩ වලට ඕනි කරන අඩුම කුඩුම ගේන්න එක එක කෙනාට භාරදුන්න. ඒ අතරෙ බත් පාර්සලයක්, බීම බෝතල් කිහිපයක් වර්ග කිහිපයකින්, ප්ලේටි වගේ පොඩි මාළු දෙන්නෙක්(පණ තියෙන), වතුර බෝතල්, එකම වටිනාකම තියෙන ප්‍රභින්න කාසි දෙකක්..... වගේ තව මොනාද ගේන්න කිව්ව. දැන් අපේ කුතුහලය තවත් වැඩියි. බත් පාර්සලේ ගේන්න භාරගත්තෙ අපේ පංතියෙ එකෙක්මයි. ඌ හිටියෙ ඉස්සරහමනෙ. 


තවත් දෙයක්, එයා ලංකාවෙ හැම ඉස්කෝලයක් පාසාම ගිහින් මේ වැඩසටහන කරනව කියල ආධාරයක් කරන්න කැමති අය ඉන්නවනම් රුපියල් 10 ගානෙ ගේන්නත් කිව්ව. දෙවෙනි දවසෙ ඒ කියන්නෙ බදාද දවසෙ ඉස්කෝලෙ ඔක්කොම එන්න ඇත්තෙ ඒ වැඩේ මොකක්ද කියල බලන්න හිතාගෙන. ස්ටේජ් එක උඩ මේසෙක තියල අර කියපු දේවල් ටික තිබුන. වැඩි කතාබහක් නැතුවම මෑන් වැඩේට බැස්ස. ඒ අතරෙ ඉතිං අපෙන් පොඩි පොඩි දේවළුත් ඇහුව. ඒ කිව්වෙ එයා කරන්න යන දේට අදාල දේවල්. වැඩි කතා ඕනි නෑනෙ. මම කෙටියෙන්ම කියන්නම් කරපු දේවල්.
  • බීම බීල ඒව ආපහු ඒ විදිහටම බෝතල් වලට පිරෙව්ව.
  • බත් පාර්සලේ කාල අපි එළියට ගන්න කියන ඒව එළියට අරං පෙන්නුව. 
  • වතුර බීල ඒව ස්ටේජ් එක ඉස්සරහට විද්දත් මතකයි.
  • කාසි 2ක් ගිලල ආපහු ඒව වෙන වෙනම අරන් පෙන්නුව.
  • මාළු පැටවු දෙන්නව ගිලල පණ පිටින්ම ආපහු අරගෙන පෙන්නුව.
ඒ අවුරුදු පහක් විතර පරණ මතකයක්. මේ ලඟකදි යූ ටියුබ් එකේ ඉන්නකොට "WENASA 50- මැජික් මල්ලි" කියල වීඩියෝ එකක් තියෙනව දැක්ක. නිකමටවගේ බැළුවෙ. එතකොට තමයි මෙගේ මතකෙත් අළුත් වුණේ.. බලන්නකො. මම කියපුවටත් වඩා දේවල් මේකෙන් තහවුරු වෙයි ඔයාලට.


වීඩියෝ එක බලන්න මෙතන ක්ලික් කරන්න....
                         














Related Posts Plugin for WordPress, Blogger...

No comments: